පොඩි අඩියක් ගසා සින්දු දෙකක් කියා තිබහට සිගැරෙට්ටුවක් දල්වා ගත් හර්ෂ ට තමාගේ නම මුමුණන ළදරු කටහඬ කන කොනින් ශ්‍රවණය විය. අතට හසුවෙන ස්ථානයන්වල සහ ඇහැට පෙනෙනා මානයන්වල තිබෙන්නේ ගීටාරය සහ බෝතල් භාගයත් ජීවී වස්තුවකට සිටින පූස් මහත්තමයා පමණක් බවට නැවත නැවතත් තහවුරු කරගත් නමුදු දිගින් දිගට ඇසෙනා කෙඳිරිල්ල ඔහුගේ සිගැරට් රස බැලීමේ කර්තව්‍යයට බාධා එල්ල කරමින් තිබුණි.
"හර්ෂ ! හර්ෂ...!"
අම්මට උඩු ! පූසා...
දකිනා දේ අදහාගත නොහැකිව තිගැස්සී සිටි ඔහු පූස් තඩියා දෙස ඇසිපිය නොහෙළා තත්පර කිහිපයක් බලා සිටියේය.
අදහස් ප්‍රකාශ කිරීමේදී පූස් මුහුනේ කිසිදු චලනයක් නොමැති නිසා ඌ තමාත් සමග ගනුදෙනු කරන්නේ ටෙලිපති තාක්ෂණය ඔස්සේදැයි හර්ෂ ට පැනයක් හටගෙන තිබුණි.
"හර්ෂ ! හර්ෂ...!"
"ඇයි ?"
“මේ...
මොනාද බන් උඹ ඔය ගහන සින්දු,
තේරෙන සින්දුවක් ගහපන්කෝ...”
“ඇයි ?
මොකද්ද සින්දුවේ අවුල ?”
“උඹ ඔය ලියන ඒවා කිසිම දෙයක් තේරෙන්නේ නෑ,
උඹේ සින්දු වලට නටන්න බෑ,
එක වෙලාවකට හෙන හයියෙන් කෑගහනවා.
නැගලා යන එකක් ගහපන් කෝ...”
“අඩෝ ! මේ පූසා...
තොට මේවා තේරෙන්නේ නැත්නම් අහන්නේ නැතුව ඉදපන්...
අනික මම සින්දු කියන්නේ එක එකාට ඕනේ නිසා නෙමෙයි...
මට ඕනේ නිසා.
මම සින්දු ලියන්නේ මට දැනෙන දේවල් ගැන මට තේරෙන විදියට...
ඒක ඔහේ හදාගෙන තියෙන සම්මතයටම වෙන්න ඕනෙ කියලා එකක් නෑනේ...
අහන්න බැරිනම් නිකන් ඉදපන්.
අහන එවුන් අහයි...
හැබැයි මට පන්ති කරන්න එන්න එපා."
ගොරෝසු හැඩිදැඩි වචන හුවමාරුව හේතුවෙන් දෙමිතුරන් ගේ ටෙලිපති සංවාදය නතරවී අවකාශයේ ස්වරූපය තරමකට වෙනස්වී මළානික වී ගොස් ය.
"හර්ෂ !
මචන්...හර්ෂ ! හර්ෂ !"
"ඇයි...ඇයි බන් වධ දෙන්නේ ?"
"තරහා යි ද ?"
"නෑ...ඇයි ?"
“මේ...
සිගැරට් පාරක් අල්ලපන්කෝ මේ පැත්තට..."
ඒ. ඩී හෙට්
![](https://static.wixstatic.com/media/27f0f6_5ed11ff07a3a4aa3b6d0fa29ff0f253c~mv2.jpg/v1/fill/w_750,h_508,al_c,q_85,enc_auto/27f0f6_5ed11ff07a3a4aa3b6d0fa29ff0f253c~mv2.jpg)
Comments