top of page

Loop.

Writer's picture: Arosha HettiarachchiArosha Hettiarachchi

ඔහු දෙවන වරටත් තම ගමන් මල්ල පරික්ෂාවට ලක් කළේය. අත්‍යවශ්‍ය ඇඳුම් කිහිපයක් හැර අනෙක් සියල්ලම හෝටල් කාමරය තුල දමා යෑමට ඔහු තීරණය කර තිබුණි.

තම පුතු වෙනුවෙන් තෑගි ලෙස මිලදී ගත් දුරස්ථ පාලකයෙන් ක්‍රියා කරවීමට හැකි සෙල්ලම් මෝටර් රථයේ දුහුවිලි පිස දැමූ ඔහු අවසන් වශයෙන් එය තම ගමන් මල්ල තුලට අඩුක් කර ගත්තේය.

බිරිඳට ගෙන එන බවට පොරොන්දු වූ රූපලාවණ්‍ය උපකරණ සහ චොකලට් වර්ග ගුවන් තොටුපල තුලදී මිලදී ගැනීමට ඔහු ඒ වනවිට අදහස් කර ගෙන තිබුණි.


රැකියාව හේතුවෙන් ජීවිතයේ විශාල කාලයක් පවුලෙන් වෙන්ව රටින් පිට මැද පෙරදිග රාජ්‍යයන් තුල ගත කිරීමට සිදුවීම තම හත් වෙනි වියේ පසුවන දඟකාර පුතු සහ තරුණ බිරිඳට කරන අසාධාරණයක් යැයි ඔහු සිතුවේය. එළඹෙන වසර ඇතුලත කෙසේ හෝ අඩ වශයෙන් නිම කර ඇති තම නිවස සම්පූර්ණ කර නැවත නැවත විදෙස් ගත වීමේ සම්ප්‍රදාය නවතා දැමීමේ සිතුවිල්ලක් ඒ වනවිට ඔහුගේ සිත තුල උඩු දුවමින් තිබුණි.


ගුවන් තොටුපල තුල පැය කිහිපයක් ගත කිරීමට සිදුවෙන බැවින් දවල් ආහාර වේල එහිදී ගැනීමට ඔහු තීරණය කළේය.

හෝටලයෙන් පිටවීමට පෙර අවසන් වතාවට කාමරයේ අහු මුලු සියල්ලක්ම හොඳින් පරික්ෂාවට ලක් කල ඔහු තම ගමන් මල්ල සහ කබාය දෑතට ගෙන දොර වසා දැමුවේය.

පඩිපෙළ බැස හෝටලයේ ප්‍රවේශ ශාලාවට පිවිසි ඔහුට

දක්නට ලැබුනේ සුදු පැහැයට හුරු කමිසයකින් සහ කලිසමකින් සැරසී ඔහු වෙත දිව එන තරමක් සුපුරුදු මුහුණකි.


"කොහෙද මහත්තයා මේ යන්නේ ?"


"අද මම ලංකාවට යනවා,

Flight එක 7ට තියෙන්නෙ...

පොඩ්ඩක් කලින් යනවා.

Lunch එපා,

Airport එකෙන් මොනාහරි ටිකක් කනවා...

අනික එහෙන් බබාටයි Wife ටයි බඩු වගේකුත් ගන්න තියෙනවා..."


"අයියෝ මහත්තයා මේ සෙල්ලම හැමදාම කරන්න බෑනේ...

බලන්න ඊයේ රෑ බෙහෙත් ටික බීලත් නෑ,

අද උදේ බෙහෙත් ටික බීලත් නෑ,

දැන් මේ සතියට ඔය දෙවනි පාර නේ මහත්තයා...

හෙට ඉරිදා නේ...

මහත්තයා ගේ පුතයි, පුතාගේ නෝනයි එනවා නේ හෙට මහත්තයා බලන්න.

ඔන්න බෙහෙත් බොන්නේ නැතුව හිටියොත් මම කියනවා පුතාට..

එන්න යමු කාමරේට...

ගිහින් Bag එකේ තියෙන ඇඳුම් ටික Cupboard එකට දාමු.

මහත්තයා තනියෙන් පඩි බහින්න ගිහින් වැටුනා නම් මට තමයි බැනුම් අහන්න වෙන්නේ...

කෝ...මගේ අත අල්ලගන්න,

මම එක්කන් යන්නම් කාමරේට..."



ඒ. ඩී හෙට්



34 views0 comments

Recent Posts

See All
Frequency.

Frequency.

Offering.

Offering.

Comments


Post: Blog2_Post
bottom of page