කොට්ටාව බොරැල්ල ප්‍රධාන මාර්ගයේ දෙපානම කොනකට වන්න වැඩ වසනා මහා කොට්ටම්බා වෘක්ෂ දේවතාවක පාමුල අරක්ගෙන සිටිනා කුඩා පෙට්ටි කඩයකි.
ලැගුම් ගෙන ඇති අවට පරිසරයටම ගැළපෙන ආකාරයෙන් තරමකට තද තණ පැහැති වර්ණයෙන් මෙම කඩපිළ සරසා ඇත.
පෙට්ටි කඩයට යාබදව බීර සාප්පුව පිහිටා ඇත.
සවස හය හත පසු වී ආකාසය පොට්ට වී ගිය විට මංසන්දියේ නොයෙකුත් අඳුරු මුලු තුලින් සීරුවෙන් මතුවන විවිධාකාර හැඩ ඇති මිනිස් ශරීර බීර සාප්පුවෙන් තම තමන්ට රිසි දියර වර්ග මිලදී ගෙන පෙට්ටි කඩයේ විකිණීමට ඇති පහේ වඩේ උලමින්, කොනකට වී හනි හනිකට බීර පානය කරති.
සතියකට දෙතුන් වරක් මෙම කඩපිළ වන්දනා කිරීම මාගේ ජීවන චක්‍රයේ අංගයකි.
එහි ඇති කොච්චි සම්බෝල මිශ්‍ර පොල් රොටියක් ගිලදමා ඉඟුරු දැමු තේ කහට කෝප්පය තොල ගා දුම් බටයක් උරමින් මනෝ පාර ගැසීම මා ඇලී ඇති Digital / Analog සමාජයන් දෙකොටසින්ම විරාමයක් ගැනීමට අත්වැලක් සපයයි.
නවය පසු වී තිස් විනාඩියක් ගත වී ඇති රාත්‍රියක කඩපිළේ අඳුරු කොනකින් ආ ඉල්ලීම එදින මාගේ සිතුවිලි පටලැවිල්ලට බාධා පැමිණ විය.
"මල්ලි...
ගින්දර ටිකක් දෙන්නකෝ,"
කටේ ඔබාගෙන සිටි සිගැරෙට්ටුව මා ඔහු වෙත දිගු කළෙමි.
හතලිස් වසරකට නොවැඩි පෙනුමක් තිබු ඔහු තරමක උඩු රැවුලක් වවා, කොන්ඩය කොටට කපා පැත්තට පීරා තිබුණි. කාල වර්ණ කලිසමට කැපෙන ගඩොල් පැහැති කමීසයකින් සැරසි සිටි ඔහු අතේ බීර බෝතලයක් රඳවාගෙන සිටියේය.
දුම් වැටිය දල්වා ගැනීමට දැරූ වෑයම සහ මුහුනේ තිබු විඩාබර ගතිය නිසා ඔහු බීර ගැලුම් හත් අටසීයයක් පමණ බී ඇති බව මා හට වැටහුණි.
කිහිප වාරයක් උත්සාහ කිරීමෙන් අනතුරුව තම දුම් වැටිය දල්වා ගත් ඔහු අනෙක් සිගැරට් භාගය නැවත මා හට බාර දුන්නේය.
"මල්ලි මේ ළඟ ද ?"
"ආහ් ඔව්...
මේ...මෙතන පාර උඩහ,
අයියාත් මෙහෙද ?"
"නෑ මල්ලි,
මම බදුල්ලේ..."
ඔහු තමන් වෙත නතු කරගෙන තිබූ බීර බෝතලය මා දෙසට දිගු කළේය.
හස්ත සළකුණු භාවිතයෙන් මා එය ප්‍රතික්ෂේප කළෙමි.
"මල්ලි බැදලා ද...?"
"තාම නෑ අයියේ..."
"බඳීන්න එපා බන්,
ගෑනූ කියන්නේ සත පහකට විශ්වාස කරන්න බැරි ජාතියක් මල්ලි...
මම කොළඹ Security රස්සාවක් කරන්නේ මල්ලි, පුටුවේ නිදාගන්නේ, හරි දුශ්කරයි බන්...
හරියට නාගන්න තැනක් නෑ,
කන්නේ කඩේ තියෙන 80 එළවළු කෑම එක...
මේ ඔක්කොම කරලා ගන්න සේරම පඩිය යවන්නේ ගෑනිටයි ළමයටයි බන්...
උඹ දන්නවාද මල්ලි මේ ගෑනී මම දාඩියෙන් මහන්සියෙන් හම්බ කරන සල්ලි අරගෙන වෙන ම්නිහෙක් එක්ක දැන් අවුරුදු ගානක් තිස්සේ නිදාගන්නවා...මට අතටම අහුවුනා මල්ලි..."
කටින් පිට වූ වචන වලින් තුවාල වූ ළයේ වේදනාව මකා ගැනීමට ඔහු බීර බෝතලය උගුරෙන් පහළට හලා ගත්තේය.
"මට අතටම අහුවුනා මල්ලි...
මේ ගැනී ඉස්කෝලේ යන කාලේ යාලූ වෙලා ඉදලා තියෙන්නේ ඌ එක්ක."
"හ්ම්ම්...
කතා කරලා විසදගන්න, එකට ඉන්න අමාරුයි නම් අයින් වෙන්න අයියේ,
දැන් ඕවා හරි සාමාන්‍යය දේවල්,
අනිත් එක ඔහොම දේවල් වෙන්න වෙන්න ඕවා ළමයින් ගේ ඔලුවටත් හොඳ නෑ...
පොඩි එවුන් නේ අයියේ..."
"මේ පාර මම සදහටම අයින් වෙලා ආවේ...
ගෙදර ගිහින් මායි ගෑනි රණ්ඩු වෙන්න ගත්තාම ගෑනි කියනවා මේ අවුරුදු හතරේ ළමයාත් මගේ නෙමෙයි ලූ...අරූගේ ලූ...
මම මෙච්චර කාලයක් මහන්සි වෙලා දුක් විඳලා හම්බ කරලා නඩත්තු කරලා තියෙන්නේ උගේ පවුල...
මම ගෑනීවයි ළමයාවයි දෙන්නාවම මැරුවා මල්ලි...!!
ගෑනි ගේ බෙල්ල මිරිකලා දාලා කේන්තියට ගෑනිව ලණුවකින් ගැට ගහලා බාල්කේ එල්ලුවා...
ළමයා නිදාගෙන හිටියේ, මම මූනට කොට්ටයක් තියලා දැඟලිල්ල නවතිනකම් තද කරගෙන හිටියා...
ඊට පස්සේ හංදියට ඇවිල්ලා පාන්දර බදුලේ බස් එකේ එල්ලුනා..
අද හවස් වෙන්න තමයි පන්නිපිටියෙන් බැස්සේ..."
බීර බෝතලයේ අඩිය හිස් කල ඔහු අතේ තිබු සිගැරට් කොටය බිම දමා සෙරෙප්පුවට යට කළේය. පෙර තිබු මද්‍යසාර මිශ්‍ර තෙල් පැහැති තෙහෙට්ටු ගතිය මුහුනෙන් අඩුවී ගොස් තරමක සැහැල්ලු බවකින් යුතු පෙනුමක් ඒ වන විට ඔහුට ලැබී තිබුණි.
"ගිහින් එන්නම් මල්ලි..."
ඔහු ඈතින් ඈතට පාවී යන සැටි ස්වල්ප වේලාවකට බලා සිටි මා අතේ ඇති දුම් බටය අහවර වී තිබු හෙයින් නිවෙස් කරා පිය මැන්නෙමි.
ඒ. ඩී හෙට්
![](https://static.wixstatic.com/media/27f0f6_913967ab7c76417594b3db5b6efc2a55~mv2.jpg/v1/fill/w_980,h_468,al_c,q_85,usm_0.66_1.00_0.01,enc_auto/27f0f6_913967ab7c76417594b3db5b6efc2a55~mv2.jpg)
Comments