නැවතත් ජීවන චක්‍රය මීයෙකුගේ ජීවන රටාවකට අනුගත වී ඇති බැවින් නොනැවතී තරඟයේ දුවන්නන් අතරට මම ද එකතු උනෙමි. ඒ අතරවාරයේ බස් රියේ දී මෙන්ම දුම්රියේ දීද මුණගැසෙන, විවිධාකාර මිනිස් විශේෂ රංගනයේ යෙදෙන කතාන්දර, නාට්‍ය සහ චිත්‍රපට නෙත ගැටෙනා අවස්ථා බහුලය. මෙසේ කනට ඇසෙනා දේ සහ ඇසින් දකිනා දේ පිළිබඳව වරු ගණන් නාස්ති කරමින් කල්පනා කිරීම, මාගේ මනස පුරා අස්සක් මුල්ලක් නෑරම උඩු දුවා ඇති මානසික රෝගයේ අතුරුඵලයකි.
පසුගිය සිකුරාදා දිනයේ දී ඒ ආකාරයෙන් සිතට කාවැදුණු සිදුවීම් ද්විත්වයකි.
රැකියා ස්ථානය පිහිටා ඇත්තේ කළුබෝවිල මහා රෝහලට මදක් ඔබ්බට වන්නට හෙයින්, එහි නිතර යන එන ගැහැණු, පිරිමි, ලෙඩ්ඩු, කුඩ්ඩෝ, අංගවිකලයන්, බෙට්ට ගැට්ටේ තියාගෙන එන එවුන් හා වැස්සට ගොඩ වෙන පිරිස් ආදී නානාප්‍රකාර චරිත දොරටු දෙබැකරමින් කන්තෝරුවට කඩා වැදීම සුලබ දසුනකි.
මෙවැනි ආක්‍රමණිකයන් හමුවේ ලොක්කා ගේ රවුම් මුහුණ හතරැස් වීමද සාමාන්‍ය දෙයකි. එයට හේතුව කලක සිට දනට පිනට වියපැහැදම් කොට ඇතිවූ කලකිරීම ද නැතිනම් නිකමුන් වෙනුවෙන් තම දාඩිය මහන්සියෙන් ඉපැයූ කාසී නෝට්ටු පූජා කිරීමේ අකමැත්ත ද යන්න මම නොදනිමි. ඔහුත් සමග තව දෙතුන් සතියක් ගතකර, අරක්කු ගුදම් හත අටක් හිස් කිරීමෙන් පසුව ඒ පිළිබදව නිශ්චිත නිගමනයකට එළඹීමට මා හට හැකිවනු ඇත.
සිකුරාදා දවල් ආහාර වේලාව පසු වෙන තැන කන්තෝරුවට ගොඩ වැදුනේ ජවසම්පන්න භික්ෂූන් තුන් නමකි. දොරටුවේ සිට මා ලැග වුන් ස්ථානයට විසිපස් මීටරයක්වත් නොමැති වූ හෙයින් දුක්ගන්නාරාළ චරිතය රඟ දැක්වීමට සිදුවූයේ මා හටය.
"මහත්තමයා, අපි මෙතන ළඟ පන්සලෙන් ආවේ, කලිනුත් ඇවිල්ලා තියෙනවා මෙහෙ... රටේ වාතාවරණය නිසා දැන් අපිට දානය හම්බෙනවා අඩුයි... අපේ පිරිවෙනේ පොඩි හාමුදුරුවන් වහන්සේලාට කන්නත් නෑ. ඉතින් අපි දානය වෙනුවෙන් තැන තැන ගිහින් සල්ලි එකතු කරනවා..."
ස්වාමීන් වහන්සේ නමක් එක හුස්මට මාගේ ඔලුවට සෝදාගෙන ගිය යෝජනාව, අනික් දෙනම විසින් හිස වනා ස්ථිර කළේය.
"ස්වාමින් වහන්සේලා මොන පිරිවෙනේද?"
"එක පිරිවෙනක් කියලා නෑ මහත්මයා, රටේ හැමතැනම තියෙනවා..."
පිරිවෙනට නමක්, ගමක් නැද්ද කියා ඇසීමේ වුමනාව බොකු බඩවැල් දෙබෑකොට ගෙන දිව අගට පැමිණියත්, සමාජ විරෝධී අදහස් යටපත් කරගත් මා කන්තෝරුවේ මාගේ අසල්වාසී මිතුරාත් කැටිව සංදේශය ලොකු තැන වෙත රැගෙන ගියෙමි. පණිවිඩය හමුවේ ඔහුගේ මුහුණ පුක වූවත් සිවුරට පිටුපෑමට බැරි තැන "Finance එකෙන් කීයක් හරි ඉල්ලලා දීපන්..." යන වදන් පෙළ කට කොනින් විසිවුණේය.
ඉන්පසු කන්තෝරුවේ මූල්‍ය අංශයෙන් පන්සීයේ නෝට්ටුවක් ඩැහැගත් මාගේ මිතුරා, ඔහුගේ කමිස සාක්කුවෙන් එයට තවත් පන්සීයේ නෝට්ටුවක් එකතු කොට ශාසනයේ සුභ සිද්දිය තකා ඉටු පඬුරු පූජා කළේය. එම හැසිරීමට හේතුව, ඔහු අනුරාධපුර රාජධානියට නෑකම් කියන එකෙකු නිසාවෙන්නට ඇති බව මම පසුව කල්පනා කළෙමි. වැවයි, දාගැබයි, ගමයි, පන්සලයි ඔහුගේ උරුමය වන්නට ඇති බව මට සිතුනේය.
සවස පහේ කනිසම පසුවී ඔරලෝසුවේ විනාඩි කට්ට හයේ නොම්බරය පසු කරනවාත් සමගම කන්තෝරු පරිශ්‍රයෙන් පැනගත් මා 163 බස් රියකට ගොඩ වූයේ බත්තරමුල්ල පෙදෙස බලා යෑමට ඇති වුවමනාවකටය.
මා ඉඳ උන්නේ බස් රථයේ පූජ්‍ය පක්ශය සදහා වෙන් කර තිබූ අසුනේය. නුගේගොඩ පැන නැවතුම් දෙකක් පසූ වූ තැන බසයේ ඉදිරි පස දොරින් ගොඩ වූ, හිරෝශිමා බොම්බයට හසු වී වැහැරී ගියා වැනි ශරීර කූඩුවකට හිමිකම් කියන ආත්තම්මා කෙනෙකු දැක මාගේ පුඬුපුල් ආසනය රත් වී පස්සා පැත්ත පිච්චී ගිය හෙයින් මා ඉඳ උන් ආසනය ඇය වෙනුවෙන් පූජා කිරීමට මම තීරණය කළෙමි.
ඇයට අසුනේ සුව විදීමට හැකිවූයේ ඉතා කෙටි වේලාවකට පමණි. ඊළඟ නැවතුම්පොළෙන් බසයට ගොඩ වූයේ තරුණ භික්ෂුවකි. ඉඳ වුන් තැනින් නැගිට ඔහුට ආසනය පිරිනැමීමට ඈට සිදුවීය. කිසිවක් නොකියූ ඔහු සිනාමුසු මුහුණින් එහි ඈඳි ගත්තේ, ආසනය තමා යන යන තැන කරේ බැඳගෙන සිටින තමන්ට අයිති බූදලයක් ලෙසිනි.
ප්‍රශ්නය!
නොදැකපු ලොවක්, නොඇසු බණක් වෙනුවෙන් අපි තව කොපමණ කලක් මෙවන් පිරිස් නඩත්තු කරන්නෙමුද?
ඒ. ඩී හෙට්
![](https://static.wixstatic.com/media/27f0f6_52528a591a8d478c83fca18f196f4bb8~mv2.jpg/v1/fill/w_715,h_403,al_c,q_80,enc_auto/27f0f6_52528a591a8d478c83fca18f196f4bb8~mv2.jpg)
Comments