මිතුරාගේ කඩයෙන් මංගල චිකන් චීස් කොත්තුව මිලදී ගත් මා පන්නිපිටිය ගුවන් පාලම දෙසට බඩ ගෑමට පටන් ගත්තේ ත්‍රීරෝද රථයක් නවතා ගැනීමේ උවමනාවෙනි. හංදියේ සිට නිවසට කිලෝමීටර් වලින් ඇත්තේ දෙකක් නිසාත් කාලයෙන් ඇත්තේ මිනිත්තු හතක් නිසාත් මහා මාර්ගයේ ගමන් කරනා ත්‍රීරෝද රථයක් අල්ලා ගැනීම සුදුසු බවට මාගේ හිස තුලින් පණිවිඩයක් නිකුත් කරමින් තිබුණි.
කිහිප වාරයක් උත්සාහ කිරීමෙන් අනතුරුව බාගෙට නැවතු වීලියක් මාගෙන් ගමන් මාර්ගය විමසුවේය. රැකියාව අවසන් වී නිවෙස් කරා යන බැවින් දුර ගමන් යෑමට ඇති අකමැත්ත ඔහු මාහට ප්‍රකාශ කර සිටියේය. කෙසේ හෝ ගමනාන්තය කෙටි වූ බැවින් ත්‍රීරෝද රථයට ගොඩ වීමට මා හට අවසර ලැබුණි.
විවිධාකාර කතාන්දර ඇසීමට ඇති කැමැත්ත නිසා රියදුරන් සමග සංවාද ගොඩනගා ගැනීම මාගේ පුරුද්දකි.
"ගෙදර ද යන්නේ ?"
"ඔව් මහත්තයා,
පාදුක්ක ට යන්න ඕනේ...
ඒකයි දුර යනවා නම් යන්න බෑ කීව්වේ."
"හැමදාම මේ වෙලාවට ද යන්නේ ?"
"නෑ මහත්තයා,
අද පොඩ්ඩක් රෑ වුනා...
වැඩ ඉවර වෙලා හයර් දෙක තුනක් දිව්වා."
"කොහෙද වැඩ කරන්නේ ?"
"මම ඩ්‍රයිවින් මහත්තයා කරන්නේ,
ප්‍රොක්ටර් කෙනෙක් ගාව...
දැන් අවුරුදු හතරක් විතර වෙනවා."
"හම්බෙන පඩිය මදි නිසාද වැඩ ඉවර වෙලා හයර් දුවන්නේ ?"
"ඉස්සර නම් නොනා මට හොඳට සැලකුවා,
පස්සේ පස්සෙ නෝනා වෙනස් වුනා මහත්තයා."
"ඒ කිවිවේ ?"
"මගේ ඇගේ ගෑවී ගෑවී නෝනා හිටියේ කලින්,
නිතරම වගේ මට KFC එකෙන් කන්න අරන් දෙනවා. මහත්තයාට මේවා කිව්වාට කමක් නෑ...
මම නෝනා ගේ කකුලට අත තියාගෙන වහානේ එලවන්නේ ඉස්සර...
හැබැයි මහත්තයා නොනා ගේ නම නම් අහන්න එපා
ඒක කියන එක හරි නෑනේ..."
"නෝනාට වයස කීයද ?"
"අවුරුදු පනස් හයයි."
"ලමයි නැද්ද ?"
"ලමයි දැන් ඇමෙරිකාවේ ඉන්නෙ මහත්තයා,
ඉස්සර මම තමයි ඉස්කෝලේ එක්කන් ගියේ."
"එතකොට නොනා ගේ මහත්තයා ?"
"අපෝ එයා දැන් ගොඩක් වයසයි මහත්තයා,
එක්තැන් වෙලා වගේ තමයි ඉන්නෙ..."
"නොනා වෙනස් වුනා කියන්නේ ඇයි ?"
"දෙමළ කොල්ලෙක් ගත්තනේ ගෙදර වැඩට...
ඌ කෙට්ටුයි,
උසයි,
කලුයි...
මිනිහා ආපු දවසේ ඉදන් තමයි වෙනස් වෙන්න ගත්තේ.
ඌට හරියට කතා කරගන්නත් බෑ, බුලත් කාලා කාලා දත් ඔක්කොම ගන්න දෙයක් නෑ.. මහා පෙරේත පාටයි. මම නම් මහත්තයා පිරිසුදුවට ඉන්නවනේ...
ඌ එහෙම නෑ.
මගේ එකම ප්‍රශ්නේ මම උස 5'2යි,
ඌ 5'7යි...
ඌ ආපු දවසේ ඉදන් නෝනා මාව ගේ ඇතුලටවත්
ගන්නේ නෑ මහත්තයා.
එලවනවා මාව..
අම්මාපා මට එක වෙලාවකට හිතෙනවා ඕකට වැඩක් පත්තු කරන්න."
"ඔතනින් යූ ටර්න් එකක් ගහලා නවත්තන්න.
කීයද ?
100යි නේ ?"
ඔහු යූ ටර්න් එක ගසා ත්‍රීරෝද රථය අයිනට කර නවතා පිටුපස හැරී මාගේ අතකින් අල්ලාගෙන ඇස් වලට එබුනි.
"මහත්තයාට මෙහෙම වුනා නම් මහත්තයා මොකද කරන්නේ ?"
ඒ. ඩී හෙට්
![](https://static.wixstatic.com/media/27f0f6_70efe8d9e1a64076a0bdba0c4c2606d3~mv2.jpg/v1/fill/w_750,h_500,al_c,q_85,enc_auto/27f0f6_70efe8d9e1a64076a0bdba0c4c2606d3~mv2.jpg)
Comments