මා තනිව වාඩී වී සිටියේ හතර දෙනෙකුට පමන ඉඳ සිටීමට හැකි ප්‍රමාණයේ මේසයකය. පුද්ගලයන් දෙදෙනෙකුට හෝ තනි පුද්ගලයෙකුට පහසුවෙන් වාඩි වී සිටීමට හැකි මේස කිහිපයක් ඉතිරි වී තිබුනද තරමක් විශාල මේසයක් මා තෝරාගන්නට ඇත්තේ මිතුරන් සමග මත්පැන් පානය කිරීමේ පුරුද්ද හේතු කොටගෙන විය හැකිය.
තනිව මත්පැන් පානය කිරිමේ ඇබ්බැහිය විවිධ කාල සීමාවන් තුලදී මාගේ ඔලුවෙනුත් ශරීරය තුලිනුත් මතුවන ආසාවකි. මෙවන් අවස්ථා වලදී බොහෝවිට මාගේ අභිමතය වන්නේ පරණ අරක්කු කාලක්, සෝඩා බොතලයක් සමග බැදපු සාලයෙක් හෝ බිත්තර දෙකක් දමා පිලියෙල කරගත් ඔම්ලට් එකකි. සාක්කුවේ යම්කිසි අතිරේක මුදලක් හෝ හීතේ යම්කිසි අතිරේක දුකක් තිබෙනා දිනයක සුපුරුදු ඔර්ඩරය තරමකට වෙනස් වීම සාමාන්‍යයෙන් සිදුවෙන දෙයකි. ඔර්ඩරය වෙනස් වීමට අනුපාතිකව මා තැබැරුමේ ගත කරන කාලය ද වෙනස් වෙයි.
"මල්ලි,
මෙනු එක ගෙන්නකෝ...
ඔව් ඩ්‍රින්ක්ස් මෙනූ එකයි ෆුඩ් එකයි දෙකම ගෙන්න."
කාලයත් සමග අඳුරු වී ඇති වටපිටාව සහ හිරිකඩ වැස්ස මාගේ මත්වීමේ ලොල්බව ඉහළ දමමින් තිබුනි.
"ජින් කාලයි,
ටොනික් එකයි.
මේ...දෙහි ගෙඩියක් කපලා ගෙන්න...
ටොනික් එක කූල් !
බයිට් එකට දාන්න කංකුං බීෆ් එකක්."
මේනූ දෙකම නැවත තමන් සන්තකයට පත් කරගත් වේටර් මළයා මා හට හිස නමා ක්ශනිකව නොපෙනී ගියේය.
තැනින් තැන ඇති කුඩා බල්බයන්ගේ නිකුත් වූ මළානික එළියට ඇස් හුරු කරගැනීමේ උවමනාවෙන් යුතුව මා සිගැරෙට්ටුවක් දල්වාගෙන අවට පරිසරය නීරීක්ශනය කරමින් සිටියෙමි.
මාගේ ඉදිරිපස මේසයේ වාඩී වී සිටියේ අවුරුදු 40ක් පමණ වු පුද්ගලයන් දෙදෙනෙකි. බීර වීදුරු තොලගාමින් සිටි ඔවුන් කන්තෝරු අවසන් වී අඩියක් ගැසීමට පැමිනි මිතුරන් දෙදෙනෙකු බව ඇඳ සිටි යුරෝපීය ඇඳුම් වලින් මම තීරණය කළෙමි.
මාගේ මේසයට දකුණු පසින් පිහිටි සමාන්තර මේසයේ වාඩී වි සිටියේ අවුරුදු 65ක පමන පුද්ගලයෙකි. සුදු සරමකින් සහ සුදු කමීසයකින් සැරසී සීට් ඔහු හිස් අවකාශයට නෙත් යොමාගෙන සිටියේය. මේසය මත තිබුනේ බාගයට වඩා ටිකක් පිරුනු උස වීදුරුවක් සහ පරිප්පු වඩයකී. ඔහුගේ වයස සහ ස්වරූපය නිසා වීදුරුවේ තිබෙන්නේ අති විශේෂ වන්නට ඇතිබවට මා නිගමනය කළෙමි.
තැබැරුමේ මලානික එලිය සමග මිශ්‍ර වූ සිගැරට් දුමාරය මැද්දෙන් වේටර් මළයා මාගේ ඔර්ඩරය සමග පැමිනෙන සැටි මා බලා සිටියෙමි.
"සර් බීෆ් කංකුං එක විනාඩි දහයකින් දානවා."
"හරි මල්ලි තෑන්ක්ස්."
රවුම් විදුරුවට දෙහි පෙත්තක් සමග හතරැස් අයිස් කැට දෙකක් දමා ඊට උඩින් ජින් සමග ටොනික් වක්කර මා හට රිසි ආකාරයේ මිශ්‍රණය සාදාගෙන රස පරික්ෂාවට උගුරු දෙකක් තොලගෑවෙමි.
තවත් සිගැරෙට්ටුවක් දල්වා ගනිමින් මම මගේ ලෝකයේ අතරමං වුනෙමි.
"සින්දුවක් අහන්න ඕනේ,
හ්ම්ම්...අපි අහමු...
කසුන් ගේ ආදරේ සිතුම්.."
හෙඩ්සෙට් එක දෙකනේ ඔබාගෙන මාගේ ආදරය ගීතයට ආලේප කරමින් සිටින අතරවාරයේ වේටර් මළයා දුම් දමන බයිට් දීසීය රැගෙන පැමිනියේය.
ටික වේලාවකින් මාගේ ඉදිරිපස මේසයේ මත් වෙමින් සිටි පුද්ගලයන් දෙපළ විසිරි යාමට සූදානම්වෙමින් තිබුණි.
ශුවර් එකට ගෑනී බොරේ දානවා ඇති
ඉක්මනට යන්නේ ඒකනේ
ඒක තමයි බියර් බොන්න ඇත්තේ...
ජින් මිශ්‍ර සිතුවිලි සමග පොරබදමින් මා ගීතය නැවත මාරු කළෙමි. මොරිස් විජේසිංහ ගේ ඔබ එන්න ගීතය මේ වටපිටාවට පට්ට සෙට් ය. මූඩ් ය.
රාත්‍රි 9.30 පමණ තැබැරුමේ මා ලැග වුන් අංගනය අයිති කරගෙන සිටියේ මා සහ පරිප්පු වඩය උලමින් සිටි සුදු වතින් සැරසුනු වයසක පුද්ගලයා පමනී. දිගු වේලාවක පටන් ඔහු මා නිරීක්ෂණයට ලක් කරන බවක් දැනුනු හෙයින් මා ඔහු දෙසට බයිට් දීසීය දිගු කළෙමි.
මා දෙසත් තාලිය දෙසත් තත්පර තුනක් බලා සිටි ඔහු අසුනෙන් නැගිට දිගු වීදූරුව සහ පරිප්පු වඩය ගෙන මාගේ මේසය මතට පත බැවුනි.
දෙකනේ ඔබාගෙන සිටි හෙඩ්සෙට් යුවල ගලවා දමා ඉදිරි විනාඩි විස්සේ ඇතිවීමට තිබෙනා සංවාදයට මම සැරසුනෙමි.
මස් කැබැල්ලක් අයින් කර ඔහු කංකුං ගුලියක් කටේ ඔබා ගත්තේය.
මා සංවාදය ආරම්භ කලෙමි.
"මස් කන්නේ නැද්ද ?"
"හරක් මස් කන්නේ නෑ මහත්තයා."
ගැට ගසාගෙන සිටි සරමේ ඉන හරියෙන් කාලේ බෝතලයක් ගෙන හිස් ව තිබූ දිගු විදුරුව පුරවා මාගේ ටොනික් බෝතලයෙන් ඔහු එය ෂැන්ඩි කර ගත්තේය.
"මහත්තයා කොහෙද ?"
"මම පන්නිපිටියේ, මේ එහා පැත්තේ.
ලොකු උන්නැහේ කොහෙද ?"
"මගේ ගෙවල් නම් කුරුණෑගල මහත්තයා,
මම තලවතුගොඩ ගෙයක් බලාගන්නවා."
මාගේ වීදුරුව හිස් කොට වේටර් මළයාට තව සීයක් ගෙන්න යැයි සංඥා මාර්ගයෙන් දන්වා සිගැරෙට්ටුවක් දල්වා ගනිමින් මම ඔහු වෙතට පැකට්ටුව දික් කලෙමි. දීමනාව ප්‍රතික්ෂේප කෙරූ ඔහු කමීසයේ උඩ සාක්කුවෙන් කැප්ස්ටන් එකක් ගෙන මාගේ ලයිටරය ආධාරයෙන් එය දල්වා ගත්තේය.
"මහත්තයා ව මට හොඳට හුරුයි...
නිශාන්ත මහත්තයා ගේ යාලුවෙක් නේ ?"
"කවුද ? නිශාන්ත ?"
"දැන් අවුරුදු හතකට විතර කලින් කෝට්ටේ ගෙදරකට එනවා මතකද මහත්තයා ට ?
නිශාන්ත මහත්තයාලා ගේ ගෙදර.
ඉස්සර ඇවිල්ලා සින්දු කියන්නේ..."
මාගේ මතකය වේගෙයෙන් හිස තුල ආපස්සට දිව යයි.
මූ මේ කා ගැනද කියන්නේ ?
නිශාන්ත කියලා එකෙක් මට මතක නෑනේ.
හැබැයි ඉස්සර සෙට් වෙලා සින්දු කියනවා කියලත් කිව්වා.
සමහරවිට යාලුවෙක් ගේ යාලුවෙක් වෙන්න ඇති.
ඉස්සර ගිටාර් එක උස්සගෙන තැන් කීයක යනවා ද...
අවුල් වූ මනසකින් මම ඔහුට පිලිතුරු සැපයුවෙමි.
"සමහර විට වෙන්න ඇති...
දැන් මතක නෑ. යාලූවෝ නම් ඉතින් කීයක් ඉන්නව ද,
ඉස්සර එහෙද වැඩ කරේ ?"
"ඔව් මහත්තයා. එහෙ තමයි වැඩ කරේ.
මහත්තයාට අමතක වෙන්න විදියක් නෑ.
මට මහත්තයා ව හොඳට මතකයි.
මහත්තයා එහෙ ආවා නේ දෙතුන් වතාවක්ම..."
"එහෙන් අයින් වුනේ ඇයි ?"
ඔහු වටපිට බලා මාගේ මුහුණට එබුනි.
"එදා මහත්තයා අන්තිමට ඇවිල්ලා ගිය දවසේ රෑ නිශාන්ත මහත්තයයී නෝනයි හොඳටම රංඩු වුනා...
ඊට පස්සේ නෝනා මහත්තයා ට වෙඩි තිබ්බා.
වෙඩි සද්දේ ඇහිලා මම උඩට දුවගෙන යනකොට ලේ විලක් මැද නිශාන්ත මහත්තයා වැටිලා හිටියා...
මම එදා රෑ දැක්කා මහත්තයා ගේ වහානේ ගෙට්ටුවෙන් එලියේ නවත්වලා තියෙනවා,
මම හැබැයි ඒක පොලිසියේ කට උත්තරයට කිව්වේ නෑ.
මට හිතුනා ඒක කියන්න ඕන නෑ කියලා...
මට පස්සෙ ආරංචි වුනා මහත්තයා රට ගිහින් කියලා.
මහත්තයා කවදාද ආවේ ?"
වේටර් මළයා රැගෙන ආ ජින් සීය මා එක හුස්මට කටේ හලා ගත්තේමි.
"තමුසෙට මාව මාරූ වෙලා වෙන කෙනෙක්ට,
ඒ මම නෙමෙයි !"
"මල්ලි !
බිල දාන්න මම කවුන්ටරයට ගෙවන්නම්."
පන්දහසේ නොට්ටුවේ ඉතුරු මුදල එන්තෙක් කවුන්ටරේ රැදී සිටින අතර පිටුපස හැරී මා වාඩී වී සීටි මේසය දෙස බැලුවෙමී.
කංකුං බීෆ් ගිල දමමින් ඔහු මා දෙස තියුනු බැල්මකින් බලා සිටියේය.
ඒ. ඩී හෙට්
![](https://static.wixstatic.com/media/27f0f6_4160df8d2ced4aa78b89ac73d639b353~mv2.jpg/v1/fill/w_719,h_500,al_c,q_80,enc_auto/27f0f6_4160df8d2ced4aa78b89ac73d639b353~mv2.jpg)
Comments